Sunday, November 14, 2010

කන්නංඟරට වෙඩි තබා ඓශ්චර්ය පෑම.

C.W.W කන්නංඟර මහතා ලාංකේය නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස අපි පාසල් යන වියේ ඔහුව මහත් ගෞරවයෙන් මතක් කළා මට මතකයි. ඒ අප පාසල් යන වියේ අපේ පාසල, පන්තිය, ඉගෙන ගන්න පොත පත මේ ඔක්කොටම අපි ආදරේ කරපු නිසයි. ඒ හැම දේම අපට ආදරෙන් අඬගහල අතටම දීපු නිසා අපි එදා තේරුම් ගත්තෙ නෑ මේ නිදහස් අධ්‍යාපනය අපට දෙන්න කොයිතරම් නම් මිනිස්සු දුක් වින්ඳද කියලා. නමුත් අද මම ඒක හොඳින් ම දකින නිසාත් විඳින නිසාත් අපි C.W.W කන්නංඟර මහතාව නැවත මතක් කළොත් හොඳයි කියල මට හිතුන.

අද නිදහසේ අපි අධ්‍යාපනය කරන්නේ ඒකාලේ මේ වගේ දුප්පත් මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් ගත්තු මිනිසුන් ලාංකේය පාර්ලිමේන්තුව නියෝජනය කළ නිසා කියලයි මට නම් තේරෙන්නෙ. ඒත් අද මේ විදියට අපේ නිදහස් අධ්‍යාපනය පෝසත් නෝනලා මහත්වරුන්ඟේ සල්ලි මල්ලට යට වෙන්නේ අද අපේ පාර්ලිමේන්තුවේ ඒ වගේ මිනිසුන් නැති නිසාදෝ කියලා මට හිතෙනවා. මම දන්නවා මේ වගේ මතෘකාවක් අද දවසේ කතා කරන කොටම මේ ලිපිය කියවන ඔබ මාවත් JVP කාරයෙක් කියල හිතල ඉවරයි කියලා. හැබැයි මේ රටේ සිද්ද වෙන දේවල් ගැන නිදහස් අදහස් පළ කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. අද මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය කියලා දෙයක් තිබෙනවානම් ඒක දැන් JVP එකට කඩේ යන හෙංචයියල ටිකක ගානට වැටිච්ච නිසා මම කැමතියි මේ ලිපියෙන් ඊට අමතරව තමන්ගේ රටට ආදරය කරන මිනිසුන් ඉන්නව කියන එක පෙන්නන්න.

අපේ උසස් අධ්‍යාපන ඇමති S.B දිසානායක මහත්තය හිතන් ඉන්නෙ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ එයාට කරන්න තියෙන එකම වැඩේ තමන් බලයේ ඉන්න කාලෙ පෞද්ගලික විශ්ව විද්‍යාල එකක් හරි තව මේ රටේ ඉදි කරන එක කියල. එතකන් එතුමට හරියට නින්ඳ යන්නෙත් නෑ වගේ. ලංකාවෙ උසස් අධ්‍යාපන ක්ශේත්‍රයේ වෙනත් විසඳන්න ප්‍රශ්න නෑ කියල එතුමා හිතනවා ඇති. එහෙමත් නැතිනම් ඒවා ගැන ළමයි කතා නොකරන නිසා එහෙම දෙයක් ගැන දන්නේ නැතුවත් ඇති. එහෙමත් නැතිනම් ලංකාවෙ ආශ්චර්ය පොතේ එහෙම එකක් කියලා නැතුව ඇති. ඒක නිසා ඒ ගැන ඔබතුමාගෙ නැතත් දැනට මොළයක් තියෙන මිනිස්සු හරි ඒවා ගැන දැනගන්න එක හොඳයි කියල මට හිතුනා.

අපේ විශ්ව විද්‍යාල වලින් පිට වෙන උපාධිදාරීන් ඇත්තටම විශිෂ්ඨ දැනුමක් තියෙනවද ? ලෝකෙ අනෙත් උපාධිදාරින් හා ගැටෙන්න ඔවුන්ට පුළුවන්ද ? ඔවුන්ගේ පාඨමාලාව දැනට ලංකාවෙ හෝ වෙනත් රට වල ‍රැකියා වෙළෙඳ පොළට ගැලපෙන පරිදි සකස් කරලද? ශීග්‍රයෙන් දියුණු වෙන බව කියන ලංකාවේ ආර්ථිකය සවිමත් කරන්න පුළුවන් නිර්මාණ කරන්න ඔවුන් සතුව දැණුම හැකියාව තියෙනවද? වගේ දාහක් ප්‍රශ්න ගැන අපේ උසස් අධ්‍යාපන ඇමතිගේ ඔළුවෙ වැඩ කරනවද කියලා මම දන්නේ නෑ. එහෙම වැඩ කරනවනම් අද කො‍ටුවෙ දුම්රිය ස්ථානය ඉදිරිපිට අපට ‍රැකියා දියවු කිය කිය කළු ඉටිකොල කූඩාරමක් යටට වෙලා ඉන්න අපේ සමහර උපාධිදාරීන්ට සිදු වේවිද? නැත්නම් අට පාස්ලා ගහද්දී උපාධිදාරීන් දුවන ප්‍රවෘත්ති අපට අහන්න ලැබෙන එකක් නෑ. හැබැයි මේ කියන ප්‍රවෘත්ති ශීග්‍රයෙන් දියුණු වෙන රටක අහන්න ලැබෙන ඒවා නොවෙන බව අපේ අය දන්නේ නැතුව ඇති.

අපේ රටේ උපාධිදාරීන්ට මේ කල නිකම්ම උදා උනේ නැති බව කියන්න ඕනේ. ඒකට ගොඩක් හේතු තියෙන බව තමයි මට හිතෙන්නෙ.

අද අපේ උසස් අධ්‍යාපනය කොයි තරම් දිය වෙමින් තියෙනවද කියනවානම් අපේ රටේ විශ්ව විද්‍යාල වල ආචාර්ය වරුන්ට වඩා අපේ රටේ බස් වල සිංඳු කියන යාචකයන්ගේ සාක්කු වල මුදල් සොයාගන්න පුළුවන්. එහෙම තිබෙද්දිත් විදේශීය විශ්ව විද්‍යාල වලින් කෙතරම් ඉල්ලුම තිබුනත් අපේ විශ්ව විද්‍යාල වල තවමත් ‍රැ‍ඳෙමින් අපේම සිසුන්ගේ ණැනස පාදන්න වෙහෙසෙන අපේ ආචාර්ය වරුන් මලින් පුදන්න ඕනෙ කියලයි මගේ අදහස. අපේ රටේ විශ්ව විද්‍යාල බොහොමයක විද්‍යාගාර උපකරණ ඒවා මුලින්ම සැපයුවට පස්සේ නැවත ඒවා අලුත්වැඩියා කරලා නෑ. විශ්ව විද්‍යාලයේ අධ්‍යන අංශ වලට අවුරුද්දකට ලැබෙන මුදල් වලින් ඒවායේ වැසිකිළිවත් නඩත්තු කරන්න නොහැකි තත්වයක් තියෙන බව උසස් අධ්‍යාපන ඇමතිවත් ඔයාලවත් දන්නෙ නැතුව ඇති. අධ්‍යන අංශ වලට අළුතින් එන සිසුන්ට විද්‍යාගාර වල උපකරණ භාවිතා කරන්න දෙන්න ඒ අධ්‍යයන අංශ වල ප්‍රධානීන්ට සිසුන් ඉදිරියේ අඬා වැටෙන්න සිදු වෙලා තියෙනවා ඒවා කඩන්නෙ නැතුව භාවිතා කරන්න කියලා. එහෙම තිබෙද්දිත් තමන්ගේ සිසුන්ගේ හැකියාවන් ම භාවිතා කරල විද්‍යාගාර උපකරණ අළුත් වැඩියා කරගෙන මේ කටයුතු ඉදිරියට කරගෙන යන අපේ අධ්‍යන අංශ ප්‍රධාණීන් නොවන්නට අපිටත් දෙයියන්ගේ පිහිටම තමා.

අපේ විශ්ව විද්‍යාල වල අධ්‍යන අංශ ප්‍රධාණීන්ට දැන් වෙනත් මාර්ග වලින් කෙසේ හෝ එම අධ්‍යන අංශ වල වියදම් උපයා ගන්නා ලෙස රජයෙන් දන්වා ඇති බව තමයි අපට දැනගන්න තියෙන්න. ඒක නිසා සෙනසුරාදා ඉරිදා දිනවල අපේ විද්‍යාගාර වල පෞද්ගලික පාඨමාලා මෙහෙයවන්න ඔවුන්ට පියවර ගන්න සිද්ධ වෙලා. සෙනසුරාදා ඉරිදා දින වල විද්‍යාගාර වල විශ්ව විද්‍යාල සිසුන්ට පර්යේශණ කරණු වෙනුවට අපේ රටේ සල්ලිකාරයන්ගේ දූලා පුතාලා උපකරණ වල කොටස් හඳුනගන්න උත්සාහ කරනවා දැකගන්න පුළුවන්. සොච්චම් මුදලකට මේ වගේ තුට්‍ටු දෙකේ පාඨමාලා මෙහෙයවන්න අපේ ආචාර්ය වරුන්ටත් සිද්ධ වෙලා.

අවුරුද්දක් අවුරුද්දක් පාසා විශ්ව විද්‍යාල වලට ඇතුල් කරගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කරන බව පෙන්නන්න හැම අවුරුද්දෙම වැඩිපුර සිසුන් 10ක් 20ක් බඳවගත්තට මේ විශ්ව විද්‍යාල වල දේශණ ශාලා වල ඉඩ තියෙනවද නැද්ද කියන එක හොයලා බලන්න කාටවත් උවමනාවක් නෑ. හැම දේශණයකටම සිසුන් සියලුම දෙනා සහභාගී කරවගන්න බැරි තත්වයක් තමා දැන් බොහෝ විශ්ව විද්‍යාල වල තියෙන්නෙ. ඒ වැඩි කරන උපාධි ප්‍රමාණයට සාපේක්ශව දේශණ ශාලා, විද්‍යාගාර,පුස්තකාල වගේම ආපණශාලා, නේවාසිකාගාර පහසුකම් සපයන්නේ නැති බව අපේ ඇමති වරයා දන්නේ නැතුව ඇති. ආ පුස්තකාල කිව්වම මට මතක් වෙන්නෙ අපේ පුස්තකාලෙ ගැන. ඒකෙ විභාගයක් ආසන්න වෙනකොට ආසනයක් වෙන්කර ගන්න පාන්දර ඉඳන් පෝළිමේ ඉන්න අපට සිද්ධ වෙන බව ඔය JVP කාරයන්ට බැණ බැණ ඉන්න ගොඩක් අය දන්නෙ නැතුව ඇති. සමහර විට JVP කාරයොත් ඒක දන්නෙ නැතුව ඇති.

සමහරවිට අපේ ඇමති හිතාගෙන ඇති ඔය පිටරට උපාධි ගන්න රට යන අය නිසා රටින් පිටට ඇදිලා යන සල්ලි වලින් මේ ඔක්කොම කරන්න පුළුවන් කියලා.ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද කියලත් අපි හිතලා බලන්න ඕන නෙ. ඇත්තටම මම නම් හිතන්නේ ඔය පෞද්ගලික උපාධි ආයතන වලින් වැඩි කොටසක් විදේශීය ආයතන වලට බද්ධ කරපු ඒවා. ඒවා උපයන මුදල් වලිනුත් වැඩි කොටසක් යන්නෙ විදේශ රටවල් වලටම බව කියන්න ඕනේ. ඒ වගේම ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අපේ පිටරට යන සිසුන් ඔක්කෝම එයිද කියලත් සැකයක් තියෙනවා. ඒකට හේතුව එතරම් ලෝකෙ නම ගිය උසස් අධ්‍යාපන ආයතන ලංකාව වගේ දුප්පත් රටක ආයෝජනය නොකරන නිසාත් පිටරට උපාධි අපේක්ෂා කරන අය ඒක නිසා අපේ රටේ නවතීද යන්න සැක සහිත නිසා.

ඒ වගේම තවත් දෙයක් නොකියාම බැහැ. දැනට ලංකාවෙ ක්‍රියාත්මක පිටරට උපාධි පිරිනමන ආයතන වල සිසුන් කුමන තත්වයේ සිසුන් ද කියල අපි හොඳට දන්නවා. ඒ අයගෙන් වැඩි කොටසකට තනියම ව්‍යාපෘතියක් කරගන්න වත් බැරි අය බව සාවද්‍යයක් නොවෙයි. මේ ආයතන වල අවසන් වසර ව්‍යාපෘති බොහොමයක් අපේ විශ්ව විද්‍යාල වල දුප්පත් සිසුන් ලවා මුදලට සිදු කරගන්නා බව ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඒ වගේ ආයතන වල ඇගයීම් පරීක්ෂණ වල වගේම වාර පරීක්ෂණ වල උත්තර වලට ලකුණු ලැබෙන හැටි සිනා ගන්වන සුළුය. බහුවරණ ප්‍රශ්නයකට ඔවුන් නිවැරදිම පිළිතුරට අමතරව තවත් පිළිතුරු කිහිපයකට පවා ලකුණු සපයයි. ඒ අනුව මුළු ප්‍රශ්න පත්‍රයේම වැරදි පිළිතුරු සළකුණු කල ද ඒ සිසුවා පරීක්ෂණයෙන් සමත් වීමට හැකියාව පවතී. කෙසේ වෙතත් එවැනි උපක්‍රම වලින් හැර මෙම සිසුන් පරීක්ෂණ වලින් සමත් කරවීම ද අපහසු කාරණයක් බව අපි දනිමු. මෙවැනි කූඨ උපක්‍රම වලින් උපාධිය සල්ලි වලට නොවිකුණා විකුණන ආයතන ලංකාවේ පිහි‍ටුවීම දැක දැක අපට ඊලඟට තිබෙන පරීක්ෂණය වෙනුවෙන් සැනසිල්ලේ පාඩම් කිරීම කළ නොහැක. ඒ අපේ පරීක්ෂණ වලට එසේ පහසුවෙන් ලකුණු නොලැබෙන නිසාය.

ඇත්තටම ලංකාව ආස්චර්යමත් දීපයක් වීමට නම් මෙවැනි පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් පිට වන හොර වෛද්‍යවරුන්ගෙන්, ඉංජිනේරුවන්ගෙන් නොහැකි බව පැවසිය යුතුය. අප සියළු දෙනා මේ කාරණය හොඳින් අවබෝධ කරගත යුත්තේ අපේ රටේ පෞද්ගලික් විශ්ව විද්‍යාලයක් ඇරඹීම වැඩි ඈතක නොවන නිසාය. ඕනෑම රටක මාධ්‍යය රටේ මිනිසුන්ට වඩා හැමවිටම ඉදිරියෙන් සිටිය යුතු යැයි මා අසා තිබේ. එහෙත් කරුමෙට වාගේ මේ සියලු දේ ආර්ථික කරණය වී ඇත. නැතහොත් කඩේ යාම පමණක් බවට පත්ව ඇත. විශ්ව විද්‍යාලයක ඇතිවූ ගැ‍ටුමක් පත්තර වල මුල් පි‍ටුවට යාමට ගත වන්නේ සුළු මොහොතකි. නමුත් එම සිසුන් පෑ දස්කමක් පළ කිරීමට හෝ ඔවුන් සංවිධානය කරන ප්‍රදර්ශනයක් හෝ තරඟයක් ප්‍රසිද්ධ කිරීමට හෝ මුදල් ගෙවිය යුතුය.

අවසන් ලෙස මතක් කිරීමට කාරණයක් තිබේ. දැනට විශ්ව විද්‍යාල වල සිසුන් මෙම සත්‍ය දැන වුවද නිශ්ශබ්ද සිටින්නේ මේවා ප්‍රසිද්ධ කිරීමෙන් තමා JVP කාරයෙකුය යන හංවඩු ගැසිල්ලට බයේය. නැත්නම් ඊලඟ මොහොතේ පංති තහනමක් ලබා ගැනීමට ඇති අකමැත්ත නිසා විය හැක. නමුත් ඉන් අප සිදු කරන්නේ අපේම මිනිසුන්ට කරන අසාධාරණයකි. මම ද මේ සිතුවිල්ලෙන් මදකට හෝ ගැළවීම පිණ්ස මේ සටහන ලියා තබමි.

1 comment:

  1. අපේ වගේ විශ්ව විද්‍යාලයකින් මේ වගේ වෙලාවක හඬක් නෑගෙන්නේ නෑත්තේ ඈයි? කියන දේට නියම පිලිතුරක් මගේ මිත්‍රයා සපයලා තියෙනව. කඩේ යන ස0ස්කෘතිය ඉවර වෙන්නෙ නෑති බව දන්න නිසාත් කඩේ යාමෙන් කිසි පලක් නෑති බවත් දන්න නිසා මිසක් මෙහෙම ඉන්නට සිදුවීම හිතට මහත් වදයක් වී තිබෙන බව නම් ඈත්තයි. ආණ්ඩු මාරු වූවාට පුටු වෙනස් කෙරුවාට විශ්ව විද්‍යාලවල තියෙන ප්‍රශ්න නිමා නොවෙන බව වෑටහෙන්නේ කීයෙන් කී දෙනාටද?
    කන්න0ගරට වෙඩි තියන්න වලි කන්නේ එහෙව් නිදහස් අද්‍යාපනයෙන්ම හෑදිච්චි එවුන් වුන එක තමා හිතට දුක...

    ReplyDelete